About

භක්ති ප්‍රබොධන සඟරාව

නිර්මාතෘ
මර්සලින් ප්‍රදිනන්දස් මහතා

ශ්‍රී ලංකාවේ ඉපැරණිම සිංහල කතෝලික සඟරාව “භක්ති ප්‍රබොධනය” යි. ක්‍රි. ව. 1899 ජනවාරි මාසයේ මේ සඟරාව ආරම්භ කරන්නට පුරෝගාමී වූයේ එවකට මග්ගොන පදිංචිව සිටි මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ ඇම්. මර්සලින් ප්‍රදිනන්දස් මහතා විසිනි. එතුමා ගිහි ජීවිතයක් ගත කළ නමුත් ශ්‍රී ලාංකික කතෝලිකයන් අතර විශ්වාසයේ සත්‍යතාවන් ප්‍රකාශ කිරීමට, ධර්මගුණයන් සහ ඊට අනුබල දෙන අදහස් ඉගැන්වීමටද දේව භය භක්තිය ප්‍රබෝධ කරනුවස් භක්ති ප්‍රබොධන සඟරාව ආරම්භ කිරීමේ ප්‍රධාන පරමාර්ථය විය. මේ සඟරාවේ පළමු කර්තෘධූරය බාර ගන්නට මග්ගොන දියලගොඩ පදිංචි මග්ගොන ශු. අන්තෝනි විදිවන් නම් පාසැලේ ප්‍රධාන ආචර්ය සී. ඩී. අන්තෝනි ජයවර්ධන මහතාට ආරාධනා කළේය. අති උත්තම ඇන්ඩෘ මැලිසන් නි. ම. නි. හිමිපාණෝ ඔවුන්ගේ සත් ව්‍යාපාරයට ප්‍රසන්නව 1898 දෙසැම්බර් 3 වන දින ප්‍රකාශ කළ ප්‍රථම අභිනව සඟරාවේ කර්තෘ ධූරයට ජයවර්ධන මහතා පත්කොට අවවාද දුන් බව පැවසේ.

  • මිසදිටුවන් හා වේදභේදකාරයන් සමඟ වාද විවාද ක්‍රිස්තියානි දයානුකූලව පැවැතිය යුතුයි.
  • කතෝලික පොත්පත් ගැනද, අනිකුදු පත්‍ර ගැනද අපවාදයෙන් වැළකිය යුතුයි.

සිංහල භාෂාවෙහි නිපුණ වුද, ආගමේ විශ්වාසයේ සත්‍යතාවන් ගැන මනා අවබෝධයක් තිබුණා වුවද, ඉංග්‍රීසි, ලතින් භාෂාවන් තරමක් ප්‍රගුණ කර තිබූ මෙතුමා වසර 32ක් සඟරාවේ කර්තෘ ධූරය ‌‌හොබවමින් අනගි මෙහෙයක් කළ බව 1931 ජනවාරි මස භක්ති ප්‍රබොධන සඟරවේ සටහන් වී ඇත (පිටු අංක 03).

වර්ශ 1899 ජනවාරි මාසයේදී භක්ති ප්‍රබොධනය සඟරාවේ පළමු වන කලාපය සා. විසෙන්ති නිවාසයේ මුද්‍රණාලයේ මුද්‍රණය කර පිටු 8 කින් සමන්විත සඟරා 2500ක් එක වසරකට දායාද මුදල රුපියලක් ලෙස මහජනයා අතර බෙදා හරින ලද්දේ “ඥනාර්ථ ප්‍රදීපය ” කතෝලික පුවත්පත සමඟය. සිංහල කතෝලික ජනයා ඉතා සාදරයෙන් සඟරාව පිළිගෙන ඇති බව පෙනී ගියේ දිවයිනේ විවිධ පලාත් වලින් එවන ලද ලිපි මෙන්ම සහා ශ්‍රේෂ්ඨයන්ගෙන් ලැබුණා වූ අනුබලය නිසාමය. දෙවන කාණ්ඩ ආරම්භ කළ කලාපයේ සිට සඟරාව පිටු 12කින් සංයුක්ත විය. පළමුවන කාණ්ඩයේ සිටම වැදගත් ලිපි රාශියක් ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් සඟරාවට සපයන ලදී.

ප්‍රථම සංස්කාරක
අන්තෝනි ජයවර්ධන මහතා

වර්ෂ 1931 සිට 1935 දක්වා වසර 4ක් “භක්ති ප්‍රබෝධනය” සඟරාවේ දෙවන කතෘ ධුරයට ගරු එඩ්මන් පීරිස් නි. ම. නි. පියතුමා පත් කරන ලදී. (පසු කාලයේදී හලාවත පදවී රදගුරුතුමන් ලෙස එතුමන්ව කතෝලික සභාව පත් කරන ලදී ). 1931 පෙබරවාරි සඟරාව පිටු අංක 1, ගරු එඩ්මන් පීරිස් නි. ම. නි. පියතුමා පළමුවන සංස්කාරක පියතුමා වන අතර එතැන් පටන් අදවන තෙක් භක්ති ප්‍රබොධන සංස්කාරක පියවරුන් ලෙස නිර්මල මරිය නිකායික පියතුමන්ලා පත් වූ අතර නිර්මල මරිය නිකාය භක්ති ප්‍රබොධන සඟරාවට අනුග්‍රහය දක්වමින් තම පැවිදි නිකායේ තවත් එක් දූත මෙහෙවරක් ලෙස අදටත් පවත්වා ගෙන යනු ලැබේ.

පවුලේ සඟරාව ලෙස හඳුනා ගන්නා භක්ති ප්‍රබොධනය සංස්කාරවරුන් 30 ක් යටතේ නොනවතින ගමනක් අද වන විට පැමිණ ඇත. කිතුනු පවුලේ සඟරාව ලෙස විරුදාවලිය ලත් භක්ති ප්‍රබෝධනය කාලයට ගැලපෙන පරිදි පාඨක හදවත් ස්පර්ශ කරන්නට පලවන හෙළිදරව්ව, විද්වත් ලිපි, විවිධ සාහිත්‍ය නිර්මාණ අතර කවි, ගීත, නිසදැස්, කෙටි කථා, ආප්තෝපදේශ, හිතෝපදේශ, සුභාෂිත අවවාද අනුශාසනා, හාස්‍ය රසයය ගෙනෙන නිර්මාණ, කාටුනය ඇතුළු ළමයින් වෙනුවෙන්ම වෙන්වූ කථාන්දර, ප්‍රහේලිකාව සහ ආදර්ශ ආගම ප්‍රශ්න පත්තර සහ ශුද්ධවන්තයන්ගේ ජීවිත කථා ආදිය ඉලක්ක කරන්නේ ක්‍රිස්තු ඉගැන්වීම් වලට විශ්වාස වන්තව, මනුෂ්‍ය වටිනාකම් සහ සාරධර්ම රැකෙන අයුරින් ජීවිතය ජීවත් කරවන ක්‍රියා පරිපාටියකට අස්වැසිල්ලක් වේ. කිතුනු පවුලේ සඟරාව වන භක්ති ප්‍රබොධනය සිය දූත සේවාවේ අභිමානවත් පස් විසිපහක සංවත්සරය 2024 දී සැප්තැම්බර් 17 වන පසළොස්වක පෝය දින කොළඹ මරදාන පාතිමා දෙව් මැදුරේදී ජය ශ්‍රීයෙන් පවත්වන්නට අපේක්ෂා කරමු.